Search

Blog Posts

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

කඳුකරය ම දුහුල් මිහිදුම් සළු පොරවාගෙන, එකට එතී, සීතලෙන් ගුලි වී ඇත. කඳු මුදුන් වසාගෙන තුරු මුදුන් නැගී සිටින වග, මිහිදුම් තිර මෑත් කරමින් විකසිත වන හිරු රැස් අතරින් දර්ශනය වේ . මාවත් දෙපසම කැනාස්, බුත්සරණ සහ නෙක් විසිතුරු වෙවර්ණ මලින් වැසී ඇත. බැලූ බැලූ අත ජර්සි හැඳගත් මිනිසුන් ය. හිම තොප්පි පැළඳගෙන සිටි මොවුන්, වරෙක ඇස්කිමෝවරුන් සිහිගැන්වීමට සමත් ය.

තේ දලු මත පතිත සීතල පිණිබිඳු, හිරුට බියේ ගැහෙමින්, හීන් සීරුවේ වියැකී යද්දී, ඩෙවෝන් තේ වතු යාය මැදින් තේ කූඩ එල්ලාගත් ළඳුන් හීන් සීරුවේ පහළට ඇදී එන්නේ, කඳු බෑවුමකින් හීන් සීරුවේ පහළට ඇදෙන ගැරඬියකු පරිදි ය.

ඩොවෝන් තේ යාය සිපගත් මද සුළඟ සිලි සිලි නද නගමින් හීන්සීරුවේම ගලා යයි. ඒ සුළං නද අතරින් මහා දිය දහරාවක් පතිත වන හඬ ඇසේ. සැබැවින්ම මෙය නෙත් අදහාගත නොහැකි අපූර්ව දසුනකි. ඩෙවෝන් තේ වතුයායෙන් ඇද හැළෙන චමත්කාරජනක මේ අපූරු දියඇල්ල අනෙකක් නොව, කඳුකරයට සිරිදෙව්දුව කැඳවාගෙන එන ඩෙවෝන් (Devon waterfall ) දියඇල්ලයි.

මීටර් සියයක් පමණ උස කඳු මුදුනක සිට, බිමට දුහුල් සළුවක් පතිත කරන්නාක් බඳු අපූර්ව චමත්කාරයක් මේ දියඇලි කොමළිගෙන් විද්‍යාමාන වේ. සීතලෙන් සීතවුණු නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් තලවාකැලේ නගරයට බටහිරට වන්නට ඒ 7 මාර්ග‍ය ආශ්‍රිතව පිහිටා ඇති මේ දියඇල්ල, මධ්‍යම පළාතේ පිහිටි දියඇලි අතරින් සොඳුරුම දියඇල්ලක් ලෙස හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ පිහිටි දියඇලි අතරින් උසින් 19 වැනි ස්ථානය හිමිවන්නේ මේ දියඇල්ලට ය. මීටර් 97ක් උසැති මේ දියඇල්ල, එවකට මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කෝපි වතු හිමි වැවිලිකරුවකු වූ ඩෙවෝන් නැමැත්තාගේ නමින් ප්‍රකටව ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 1140ක් උසින් පිහිටි මේ දියඇලි කොමලිය, දුටුවන් මනබඳින් අපූර්ව ස්වභාවයකින් යුක්ත ය. ඩෙවෝන් තේ වත්ත මැද දී දර්ශනය වන මේ දියඇලි කොමලිය, ඇල්ලට කිලෝ මීටරයක් පමණ ඉදිරිපසින් ඇදෙන නුවරඑළිය මාර්ගයේ සිට නැරැඹිය හැකි ය. දියඇල්ල නිදහසේ නැරැඹීමට, එහි සුන්දරත්වය විඳීමට මෙන්ම එය ඡායාරූපගත කර ගැනීමට ද එම ස්ථානයේ සිට හැකියාව ඇත.

ඩෙවෝන් දිය ඇල්ල නිර්මාණය වන්නේ, මහවැලි ගංඟාවෙන් පෝෂණය වන ඔයක් වන කොත්මලේ ඔයෙන් ගලා එන අතු ගංගාවක් ආශ්‍රය කරගෙන ය. ඕනෑම දියඇල්ලකට, දිය දහර ගලා හැලෙන ආකාරය අනුව, පිහිටීම සහ ඉන් දර්ශනය වන සුන්දරත්වය අනුව, ඇල්ලේ ජලය වැටෙන හඬ අනුව ඊට අනන්‍යතාවක් ඇත. ‍ඩෙවෝන් දිය ඇල්ල ද ඒ අනන්‍යතාවෙන් යුක්ත ය.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්වන ඕනෑම කෙනකු නැරැඹීමට අමතක නොකරන දියඇල්ලක් ලෙස සඳහන් කළ හැකි මෙය, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට නොමඳව පාත්‍ර වන දිය ඇල්ලකි.

ශ්‍රී ලාංකේය පුද්ගලයකු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ දියඇල්ලකට නැග, ඉන් පහළට බැස තැබූ පළමු වාර්තාව අයත් වන්නේ ද ඩෙවෝන් දිය ඇල්ල නිසාවෙනි. ඒ 1998 අප්‍රේල් 17 වැනිදා ලෙස ඉතිහාසයට එක්ව ඇත. එම වාර්තාව තැබූයේ කුමාර බන්දුල නමැත්තා විසිනි.

ඩෙවොන් දියඇල්ල නැරැඹිය හැක්කේ තලවාකැලේ හැටන් මාර්ගයෙහි 20 වැනි සැතැපුම් කණුව ආසන්නයේදී ය. එසේත් නැත්නම් නුවරඑළිය - හැටන් මාර්ගයේ හැටන් සිට කි. මී. 34ක් පමණ ගමන් කළ පසුව ය. මේ වනවිට සීතල නුවර එළියට වසන්තය උදාවී ඇත. වසන්ත අසිරිය විඳ ගැනීමට නුවර එළියට යන සෑම අයෙකුම නැරැඹීමට අමතක නොකරන ඩෙවෝන් දියඇල්ල, එදා මෙන් ම අදත් සීතල පිනි කැට දසත විසිරවමින්, ඩෙවෝන් තේ යායට අසිරි කැන්දමින් සිටී.

තොරතුරු දිවයින පුවත්තතෙනි