Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

ශ්‍රී ලංකාවේ ගංගා මෝය සහ කලපු වෙරළ
පරිසර පද්ධතියේ පාරිසරික වැදගත්කම

ශ්‍රී ලංකාව දූපත් රටක්‌ ලෙස විවිධ වූ වෙරළ පාරිසරික පද්ධතියන්ගෙන් සමන්විත වන අතර කලපු, ගංගා මෝය, කඩොලාන, කොරල්පර, වැලි වැටි ඉන් ප්‍රධාන වේ.
මෙම වෙරළ පාරිසරික පද්ධතින්ගෙන් ගංගා මෝය හා කලපු පරිසර පද්ධතින්ට හිමි වන්නේ සුවිශේෂි ස්‌ථානයකි. විශේෂයෙන් ගොඩබිම දෙසට ඇතිවන දැඩි වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමෙහිලා ගංගා මෝය හා කලපු පරිසර පද්ධතිය ඉතා සුවිශේෂි මෙහෙයක්‌ ඉටුකරනු ලැබේ.

කලපු හා මෝය නිර්වචනය (Estuary & Lagoon)
"ගංගා ජලය හා මුහුදු ජලය මිශ්‍රව පවතින ගංගාවක්‌, ඇළක්‌ මුහුදට එක්‌වන ස්‌ථානය" වන අතර ශ්‍රී ලංකාවේ මෝය වර්ග දෙකකි.

01. ගංගා මෝය 

02. තඩාංග මෝය  

ගංගා මෝය (Riverin Estuary) යනු, ගංගා ජලය/ඇළ මාර්ග ජලය සෘජුව මුහුදට මුදාහරින මෝය වේ. උදාහරණයක්‌ ලෙස කැලණි ගංගා මෝය, කළු ගඟ මෝය, මා ඔය මෝය, නිල්වලා මෝය සඳහන් කළ හැකි.
සමස්‌තයක්‌ ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෝයවල් 45ක්‌ වන අතර ඉන් 28ක්‌ ගංගා මෝය ගනයට ද 17ක්‌ තඩාංග මෝය ගනයට අයත්වේ.



තඩාංග මෝය (Basin Estuary) යනු ගංගා හෝ ඇළ මාර්ග මඟින් ජලය මුහුදට මුදාහැරීමට පෙර නොගැඹුරු ද්‍රශර්යකට (Basin) මුදා හැර ඉන් මුහුදට ජලය මුදා හැරීමයි. මීගමුව මෝය, පුත්තලම මෝය, මඩකලපුව, යාපනය තඩාංග මෝය ගනයට අයත් වේ.
ශ්‍රී ලංකාව වටා ඇති මුහුදට ගලාබසින ප්‍රධාන ගංගාවන් සියල්ලක්‌ම ගංගා මෝය ගනයට (Riverin Estuary) අයත් වේ.



කලපු පරිසර පද්ධතිය
කලපු පරිසර පද්ධතිය ද මේ වාගේම වැදගත් වෙරළ පාරිසරික පද්ධතියකි. වෙරළබඩ කලපුවක්‌ යනු බාධකයක්‌ මඟින් සාගරයෙන් වෙන්වූ නොගැඹුරු වෙරළබඩ ජලතලයකි. ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයේ කලපු 52 ක්‌ පවතින අතර ඉන් කලපු 8ක්‌ හෙක්‌ටයාර් 1000 කට වැඩි ඒවා වේ.

මෙම කලපු හා තඩාංග මෝය පරිසර පද්ධතියේ සුවිශේෂි පාරිසරික අංගය වන්නේ එම පරිසරය කඩොලාන පරිසර පද්ධතීන් වලින් සමන්විත වීමය. තවද, රට අභ්‍යන්තරයට හා වෙරළට තදාසන්න ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂා ජලය ක්‍රමානුකූලව මුහුදට බැස යැමට එකම මාර්ගය ගංගා මෝය හා කලපු පරිසර පද්ධතියයි.

ගංවතුර පාලනයට මෝය හා කලපු පරිසර පද්ධතීන් ක්‍රියා කිරීම.
රට අභ්‍යන්තරයේ හා වෙරළට තදාසන්න ප්‍රදේශවලට ඇතිවන ධාරානිපාත වර්ෂාවක්‌ නිසා ඇතිවන ගං වතුර පාලනය කිරීමෙහිලා ගංගා මෝය හා කලපු මඟින් සිදුවන මෙහෙය ඉතා වැදගත් වේ. විශේෂයෙන් කැලණි ගංගා මෝය තුළින් මුහුදට ක්‍රමවත්ව වැසි කාලයේ ජලය බැසයාම සිදුනොවුන විට කැලණි ගංගා මිටියාවතේ ගඟ දෙපස ගම් ගංවතුර තර්ජනයට ගොදුරු වේ. තවද, කළු ගංගා මෝය තුළින් වැසි ජලය බැසයැම අවහිර වුවහොත් කළු ගංගා මිටියාවතේ ඇති නිවාස/දේපළ ගං වතුර තර්ජනයට ලක්‌ වේ.

තවද, ගංගා මෝය මඟින් සිදුවන තවත් වැදගත් මෙහෙයක්‌ වනුයේ, ගංගා මඟින් වැලි මුහුදට ස්‌වභාවිකව ප්‍රවාහනය කර දීමයි. ඒ තුළින් වෙරළ පෝෂණයට අවශ්‍ය වැලි ගංගා ඇළ මාර්ග දිගේ මුහුදට එකතු වීම තුළින් වෙරළ ඛාදනය පාලනය කිරීම සිදුවේ.

විශේෂයෙන් කලපු තඩාංග මෝය පරිසර පද්ධතියෙහි මත්ස්‍යයන් බෝවන ස්‌ථාන ලෙසට වැදගත් වන බැවින් ඒ තුළින් ධීවර කර්මාන්තයට මහා පිටිවහලක්‌ වේ. තවද, කඩොලාන පරිසර පද්ධතින් මෙම කලපු හා මෝය ආශ්‍රිතව ව්‍යාප්තවීම තුළින් ජෛව විවිධත්වයක්‌ මෙම කලපු, මෝය පරිසර පද්ධතිය වැදගත් මෙහෙයක්‌ පරිසරයට ඉටුකරනු ලැබේ.

තවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්‌ෂේත්‍රයටද මෙම කලපු මෝය පරිසරය ඉතාමත් වැදගත් වන අතර දේශීය - විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ කලපු - මෝය පරිසරයට දැඩි ඇල්මක්‌ දක්‌වයි.

කඩොලාන පරිසර පද්ධතිය මෝය හා කලපු ආශ්‍රීතව පවතින බැවින් ඒ තුළින් ජලයේ ඇති අපද්‍රව්‍ය උකහා ගැනීමට (Detoxi fication System) කඩොලානවලට හැකියාව ඇත.

ගංගා මෝය හා කලපුවලට ඇති තර්ජනය

ශ්‍රී ලංකාවේ ගංගා මෝය - කලපු පරිසරයේ ඇතිවන ප්‍රධානතම කාර්යය වනුයේ එම ගංගා මෝය කලපු ආශ්‍රිතව සිදුකරනු ලබන ගොඩකිරීම් හා අනවසර ඉදිකිරීම්ය. ඒ තුළින් ගංගා මෝය කලපු වල ඉවුරු ගොඩකිරීම නිසා ගංගා ජලය මුහුදට ගලා ඒමට බාධාවන අතර ඒ තුළින් රට අභ්‍යන්තරයට ඇතිවන වර්ෂාවෙන් සිදුවන ගංගා වතුර තර්ජනය වැඩිවනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මුහුදට ගලා බසින ප්‍රධාන ගංගාවන් වන කැලණි ගඟ ආශ්‍රිතව එම දෙපස අනවසර ඉදිකිරීම් 500 කට අධික ප්‍රමාණයක්‌ පවතින අතර විශේෂයෙන් මට්‌ටක්‌කුලියෙන් මුහුදට එකතුවන කැලණි ගංගා මෝය වැසි කාලයේ දී ජලය මුහුදට ගලාගෙන යාමට හැකිවන පරිදි පුළුල්ව පැවතිය ද ඉන් ඔබ්බට ගොඩබිම දෙසට යනවිට කැලණි ගංගාධාර වල අනවසර ඉදිකිරීම් නිසා බොහෝ විට ගංගාව ඉතා පටු ස්‌ථාන බවට පත්වී ඇති බැවින් වැසි ජලය ක්‍රමවත්ව බැසයැමට අවහිර වීමෙන් හංවැල්ල, කැලණිය, කඩුවෙල, අවිස්‌සාවේල්ල යන කැලණි මිටියාවතේ ප්‍රදේශ ගංවතුර තර්ජනයට ලක්‌වීම සිදුවී ඇත.

වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි පස්‌ වසර සඳහා සකස්‌ කර ඇති නව වෙරළ කලාප කළමනාකරණ සැලැස්‌මට අනුව, (කැලණි, කළු, වලවේ, මා ඔය වැනි) මෝය කටේ (River Mouth) සිට මීටර් 500ක ගොඩබිම දෙසට වන්නට ගංගා ඉවුරු පාලනය කරන ප්‍රදේශයක්‌ ලෙසට ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

තවද, වර්තමානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තු යොමු නීති වලට අනුව කැලණි ගංගාවේ සංවර්ධන කාර්යයන්/ ඉදිකිරීම් සඳහා තැබිය යුතු රක්‌ෂිතය මීටර් 16ක්‌ වන අතර කළු ගඟේ තැබිය යුතු රක්‌ෂිතය මීටර් 20ක්‌ වේ.

තවද, කලපු ආශ්‍රීත ඉදිකිරීම්/ සංවර්ධන කාර්යයන් සඳහා පවත්වා ගත යුතු අවම රක්‌ෂිතය කලපු ඉවුරේ සිට මීටර් 10ක්‌ වේ.

ශ්‍රී ලංකාව වටා මුහුදට ගලාබසින ප්‍රධාන ගංගා මෝය හා කලපු පරිසර පද්ධතින් ගංවතුර පාලනයට මෙන්ම ජෛව විවිධත්වයෙන් අනුන බැවින් මෙම පාරිසරික සම්පත් හානි වීමට ඉඩ නොදී රැක ගැනීම වර්තමානයේ රට මුහුණ පා ඇති පාරිසරික උවදුරුවලින් සිදුවන ව්‍යසනය පාලනය කරගැනීමට සමස්‌ත ජනතාවම අවබෝධ කරගත යුතු වේ.

ඒ.එච්. ගාමිණී හේවගේ
අධ්‍යක්‌ෂ වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව