පැරැණ්නන් භාවිතා කළ මිනුම් ක්‍රම

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

ශ්‍රී ජයවර්ධනපුරය නැතහොත් සෙංකඩගල ආරම්භ රජ ලෙස හැඳින්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ (1469 - 1511)  දී රජ කළ සේනාසම්මත වික්‍රමබාහු ය. එතැන් සිට ක්‍රිස්තු වර්ෂ 1815දී රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට හසු වන තුරුම අනුක්‍රමණයෙන් පාලකයින් දහතුන් දෙනකු මෙහි පාලනය හෙබ වූ බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වෙයි. එසේ නමුදු සෙංකඩගලපුරය නැතහොත් ශ්‍රී ජයවර්ධනපුර පිහිටුවන ලද්දේ සේනාසම්මත වික්‍රමබාහු නෙවේ. අගනුවර උචිත භූමියක් සොයා දෙන ලෙස බ්‍රාහ්මණයකුට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ගොඩ නංවන ලද්දේ ගම්පොළ හෙවත් ගඟසිරිපුර විසූ තුන්වැනි වික්‍රමබාහු රජුය. ඓතිහාසික ලේඛන වලට අනුව කන්ද උඩරට රාජධානිය පසුකාලීනව පැතිර ගිය දිසාවන් හා රටවල් සහිත විශාල පෙදෙසකි. නමුත් එය මුලදී උඩුනුවර යටිනුවර හරිස්පත්තුව හේවාහැට දුම්බර යන ප්‍රාදේශීය නගරය දළදා මාළිගය රජ වාසලේ අධිකාරම් වලව්ව සහිත අවට වර්ග සැතපුම් දෙකක් පමණ වූ අස්ගිරිය විහාරය උසින් පිහිටි කඳුවැටිය ඔස්සේ උඩවත්ත කැලය හරහා අම්පිටිය පාර ඉක්බිති වැව ඉස්මත්තේ සැතපුම් භාගයක් පමණ දුරට විහිදී සීමාවූවකි. මේ ප්‍රදේශය තුළ රජු ඇතුළු සාමාන්‍ය ජනතාව ජීවත් විය. මහනුවර රාජධානියට ඇතුල් වීමට තිබුණේ මාර්ග තුනකි. වැඩවසම් සමාජ ආර්ථික රටාවකට අනුව මෙකී ජනතාව සැදිපැහැදි කල් ගත කළහ.


රාජ්‍යයක් වශයෙන් 14 වන සියවසේ සිට ශ්‍රී වර්ධනපුරය පුරා පැවැතියේ රමණීය දේශගුණයකි. මහවැලි නදිය හා ඊට සම්බන්ධ අතු ගංගාවන් 12කින් ජලය ලබා දුනි .මිනිසා ජනාවාස ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වී තිබුණි. කඳු වළල්ල ආරක්ෂාව සැලැසිණි .තෙල්දෙනිය බඹරගල විහාරය හාරගම දුල්වල වේගිරිය මොළගොඩ ශිලා ලේඛන අනුව ඉපැරණි ජනාවාස තිබූ බවට සාක්ෂි දෙයි .මෙකී රාජධානියේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්ම යයි. ගෙවතු වගාව හා සත්ත්ව පාලනය ඊට අමතරව විය .බොහෝ විට පිටස්තර පහතරට හා විදේශ සම්බන්ධතා තිබුණේ අල්ප වශයෙනි. උවමනාවන් සරල විය. තරගකාරීව දක්නට නොලැබෙන මුදල් භාවිතය අල්ප විය.එයද පැවතියේ රාජ්‍ය උසස් අයකු අදිකාරම් දිසාවේ නිලධාරීන් අතරය.


මෙවන් වැඩවසම් ආර්ථික සමාජ රටාවකට අනුව මිනුම් ක්‍රම ද සැකසී තිබුණේ ය.අද දින මැනීම සඳහා යොදා ගන්නේ කිලෝමීටර යයි. එදා එය සඳහා යොදා ගත්තේ හූ හඬයි. හූ හඬ යනු හති හැරීමකින් තොරව එක හුස්මට ශබ්ද නැගිය හැකි දුරයි . හූ හඬ දෙකක් එනම් දළ වශයෙන් හති ඇරීම කින් තොරව බිම නොතබා කෙනෙකුගේ කඳක් ගෙන යා හැකි දුරක් වේද ඒ දුරයි. එය සාමාන්‍ය සැතපුමකට වඩා අඩුයි හූ හඬ 8ක්.දුර ගව්ව්වක් ලෙස සලකන ලදී.( සැතපුම් හතරක් )සමහර ප්‍රදේශවල සැතපුම පිල්ලුව ලෙස ද සලකන ලදී.පිලුලුව පිල් (රෙදි) ඉනුව (ලිහිම) යන අදහස් දෙන්නකි .එයින් අදහස් කළේ කඳක් ගෙන යන තැනැත්තෙකුට තමා කෙටිකර හැඳගත් රෙද්ද බුරුල් නොවී ගෙනයාහැකි දුරයි .එනම් රෙද්ද නැවත කෙටිකර ඇඳගන්නා දුරයි.


තවත් මිණුම් ක්‍රමයක් වූයේ වඩු රියනයි .එය බොහෝ විට භාවිතා කළේ වඩුවන් ය. වඩුවාගෙ වැලමිට හන්දියේ සිට අතේ හතරවැනි ඇඟිල්ල දක්වා ඇති දුර වඩු රියනයි. වඩු රියන සාමාන්‍ය වශයෙන් අඟල් 18කි. රජුගේ අදිකාරම්වරුන්ගේ අසිපත සෑදීමේදී බොහෝ විට භාවිතා කළේ වඩු රියනයි .එය වඩුවාගේ රියන නොවේ. රජුගේ මංගල කඩුව සෑදීමේදී වඩු රියන වූයේ රජුන් වැලමිට හන්දියේ ඇතුල් පැත්තේ සිට හතර වෙනි ඇඟිල්ල දක්වා දුරයි අදිකාරම්වරුන් දිසාවේවරුන්ට ද එසේමයි.


දුර මැනීමේ දී යොදාගත් ක්‍රමය වූයේ බඹයයි. බඹයක් යනු මිනිසකුගේ දෑත දෙපස විහිදුවන විට අත් දෙකෙන් ඇඟිලි තුඩු අතර දුර යි. එය සාමාන්‍ය වශයෙන් අඩි 6කි .මීට අමතරව බණ්ඩාර බඹ යනුවෙන් ද මිනුමක් විය. එනම් මිනිසෙකු අතේ සිට පාද ඇඟිලි තුඩු දක්වා දිගයි. මෙය සාමාන්‍යයෙන් අඩි 9කි . බරබාර බඹ පන්සීයක් සැතපුම ලෙස සලකන ලදී .


වේලාව විනිශ්චය කරනු ලැබුවේ සූර්ය සෙවනැල්ල පෑතැටිය ඉරබටු තරුව පහන් තරුව කුකුළාගේ හැඩලීම මල් පිපින වේලාව වැනි දෑ ආධාර කරගෙනයි. කන්ද උඩරට රජ මාලිගයට සම්බන්ධ විවිධ කාර්යාංශ වලට වැඩමුර දැක්වීම සඳහා මාලිගයේ උඩ වාහල්කඩ අසල පෑ තැටි වාහල්කඩ විය. පෑතැටිය යනු පොල් කටුවකට සමාන තඹෙන් හෝ පිත්තලෙන් කළ භාජනයකි. මේ භාජනයේ ඉදිකටු සිදුරකට සමාන සිදුරක් විය. පෑ තැටිය වතුර පිරවූ භාජනයට දැමූ විට එය පිරී ගිය විට සිංහල පැයකි. මේ ආකාරයට පැය කාලක් පැය භාගයක් එහි සලකුණු කර තිබිණි. 


පෑ තැටිය අනුව දවාල පැය 30ක් වශයෙන්ද රාත්‍රී පැය තිහක් වශයෙන්ද 60 පැයකට බෙදා තිබුණි. වර්තමාන වේලාව අනුව එදා විනාඩි 24 පැය 1කි. සිංහල පැය දෙකහමාරක් හෝරාවක් විය. හෝරා 24 දිනයක් විය. මේ අනුව සතියකට දින හතකි .ඉරු සඳු කුජ බුධ ගුරු කිවි ශනි ඒ දින 7යි. රජුගේ පෑ තැටි වාහල්කඩ නිලධාරීන්ගේ සේවය රාත්‍රිය හා දවාල වශයෙන් ජාම හතරකට බෙදා තිබුණි.

දවාල - උදේ සිට අටවැනි සිංහල පැය අවසානය තෙක් පලවෙනි ජාමය
නමවැනි පැයේ සිට පහළොස්වැනි පැය අවසානය තෙක් 2වැනි ජාමය
මද්දහනේ සිට හත්වැනි සිංහල පැය තෙක් තුන්වෙනි ජාමය
8ට වැනි පැයේ සිට 15 වැනි පැය අවසානය තෙක් 4 වැනි ජාමය


මේ ජාමයන් පසු කරද්දී එය දැනගැනීම සඳහා මිණිගෙඩි ඝණ්ඨා හඬ වනු ලැබිණි .අනුව නුවරවාසීහු වේලාව දැන ගත්ත.


නමුත් නුවරින් ඈත ගම් වාසීන් තම වේලාව නිශ්චය කරගෙන ඇත්තේ වෙනත් ආකාරයකට ය .සෙවනැල්ල මේ සඳහා භාවිතා කරන ලදී. හිටි පියවර ලෙස සැලකුවේ මද්දහනයි. එය මිනිසකුගේ හෙවනැල්ල දෙපතුල වැටෙන වේලාවයි. මීට අමතරව කුකුළාගේ හැඬලීම ගොම්මං වේලාව (ගවයින් වන වදුලු වල සිට නැවත ගාල් වෙත පැමිණෙන වේලාව) මී කෙලින වේලාව( මීමැස්සන් දහවල් විසිරයාම )හෙන්දිරික්කා මල් පිපෙන වේලාව වැනි අවස්ථාවන් වේලාව විනිශ්චය කරගැනීම සඳහා යොදා ගත්හ.

ස්කන්ධය (බර) මැනීම සඳහා යොදා ගත් ක්‍රම කීපයක් විය.

තල ඇට 3 මුං අට 1 යි
මුං ඇට 30 වී ඇට 1 යි
වී ඇට 8 මදටිය ඇට 1 යි
මදටිය ඇට 20 කලං 1 යි
කලං 3 හූන 1 යි
හූන 2 පලම් 1/2 යි
පලම් 2 කුලුඳුල් 1 යි
කුලුඳුල් 2 පත 1 යි
පත 2 මනා 1 යි
මනා 2 නැළි 1 යි
ලාහ 4 තිඹ 1 යි
ලාහ 10 පෑළ 1 යි
පෑළ 4 අමුණු 1 යි

ඉඩම් මැනීම සඳහා ධාන්‍ය මිම්මක්‌ විය. ධාන්‍ය මනින උපකරණ වන ලාහ, කුරුණිය වැනි දෙයක්‌ ඇසුරින් ඉඩමේ වපුරන ධාන්‍ය ප්‍රමාණය අනුව බිම නිශ්චය විය. වී කුරුණියක බිම වී මල්ලක හෝ අමුණක බිම යන්න අදත් භාවිත වේ. එහෙත් ධාන්‍ය වර්ග අනුව බිම වෙනස්‌ විය. වී වලට වඩා කුරක්‌කන් වැපිරෙන බිම වෙනස්‌ වූ අතර ධාන්‍ය වර්ග ද සඳහන් කිරීම අවශ්‍ය විය. වයඹ දිසාපති වාර්තාවලට අනුව ඉඩමේ සරු නිසරු භාවය ද පිහිටීමේ ස්‌වභාවය ද අනුව වැපිරෙන ප්‍රමාණයන් තීරණය වූ බව පෙනේ. ධාන්‍ය ඇසුරින් ඉඩම් ප්‍රමාණ කිරීම අදත් ප්‍රාදේශීය වශයෙන් පවතිනු දක්‌නට ලැබේ. පුද්ගලයාගේ සමාජ තරාතිරම කීමේදී ද ධාන්‍ය ප්‍රමාණ කිරීම අතීතයේ සිට පවතින්නක්‌ වේ. කිසිදු යෑපීම් මඟක්‌ හෝ ඉඩමක්‌ නැති පුද්ගලයා හඳුන්වන ලද්දේ "වී මිටක" හෝ "බිම් අඟලක" අයිතියක්‌ නැත්තා ලෙසය. "මිට", "පත" යන භාවිතයන් දෙකම ඉතා කුඩා මිනුම් ඒකක දෙකක්‌ වූ අතර අතීතයේදී එවන් මැනීම් ක්‍රමයන් ද භාවිතයට ගනිමින් සකස්‌ වූ චක්‍ර ද මහනුවර සමයේ භාවිතයේ පැවැතිණි.

මිට 4 අතළොස්‌ස 1 යි
මිට 8 පත 1 යි
පත 2 මනාව 1 යි
මනාව 2 නැළි 1 යි
නැළි 4 ලාහ 1 යි
ලාහ 4 තිඹ 1 යි
කුරුණි 5 බෙර 1 යි
බෙර 2 පෑළ 1 යි
පෑළ 4 අමුණු 1 යි
පෑළ 6 යෙල් 1 යි
අමුණු 12 යල 1 යි

කෙසේ වෙතත් පැරණි සමාජ ක්‍රමය තුළ පැවැති මේ මිනුම් ක්‍රම අද අභාවයට ගොස් සිය ඊට හේතුව නුතන මිනුම් ක්‍රම තරම් ඒවා සංගත නොවීමයි. අනුමානය මත පදනම් විය විවිධ ක්‍රම අතර වෙනස් බව පැහැදිලිව දැකගත හැකි වීමයි. එසේවුවද මේ ක්‍රම ඈත පිටිසර තවමත් නොනැසී පවතී .වී කුරනිය වී බුසල වී බෙරය වැනි මිනුම් ක්‍රම ධාන්‍ය මෙන්ම බිම් වපසරිය මැනීමේ කසාය බෙහෙත් වැනි කටයුතුවලදී භාවිත වේ.