Search

Blog Posts

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

සීතාවක රාජසිංහ රජුගේ මරණය පිළිබඳ පැරැණි මූලාශ්‍ර - වංශ කතා - නූතන ඉතිහාසකරුවන් දෙන විවරණ පිළිබඳ සටහනක්‌ මේ ලිපියේ එයි. සීතාවක රාජධානිය යටතේ වරක්‌ කොළඹ නගරය හා යාපනය හැර මුළු ලංකාවම එක්‌සත් කරගෙන සිටි සීතාවක රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1592) උඩරට රාජධානියේ රජකමට පත් කොනප්පු බණ්‌ඩාර හෙවත් පළමු විමලධර්මසූරිය රජු (ක්‍රි. ව. 1592-1604) අතින් බලන සටනේදී දරුණු යුද පරාජයක්‌ ලැබ සිත්තැවුලෙන් ආපසු යද්දී පෙතන්ගොඩ රාජකීය උයනේදී විෂ උණ කටුවක්‌ ඇනී තුවාල දරුණු වී 1592 මිය ගියේය. "රුසිරු පෙතන්ගොඩ උයනට...." යන ජනකවියේ මේ සිද්ධිය කියෑවෙයි. පෙතන්ගොඩ උයන වටා ඉන්දියාවෙන් ගෙන්නු මේ දරුණු කටු සහිත උණ වවා තිබුණේ අලි ඇතුන්ගෙන් උයනට සිදුවන හානි වැළැක්‌වීමටයි. සීතාවක රාජසිංහ රජුට මරු කැඳ වූ මේ ඓතිහාසික උණ පඳුරේ ඉතිරිව ඇති පැරැණි පඳුරුවලින් ලියලා ගොස්‌ කීපයක්‌ නටබුන්ව ගිය පෙතන්ගොඩ උයනේ ඉතිරිව ඇති කුඩා බිම් කොටස්‌ තවමත් ඉතිරිව ඇත. පළමුව රජුගේ මරණය පිළිබඳව නූතන ඉතිහාසකරුවන් දක්‌වන අදහස්‌ කීපයක්‌ බලමු.
කොටගම වාචිස්‌සර හිමි "සරණංකර සංඝරාජ සමය" ග්‍රන්ථයේදී කියන පරිදි යුද පැරදී යන රාජසිංහ රජු හටගත් ආබාධයකින් මළ බවයි.

"ලංකා ඉතිහාසයේ පෘතුගීසි යුගය" ග්‍රන්ථයේදී එස්‌. ජී. පෙරේරා පියතුමා හිතනුයේ යුද පැරදී යන රජු සිත්තැවුලෙන් දිවිනසා ගැනීමට ඇති බවයි. එහෙත් මීට සාධක මදිය. කොඩ්රින්ටන් ලියූ "ලංකා ඉතිහාසය" ග්‍රන්ථය අනුව රජු උණ පතුරක්‌ ඇනී මළේය.

පැරැණි ඉතිහාස මූලාශ්‍රවල රජුගේ මරණය ගැන දැක්‌වෙන තොරතුරු දැන් පරීක්‌ෂා කර බලමු. "චූලවංශය" හා උඩරට ඉතිහාසය" කියන මැන්දිස්‌ රෝහණධීර සංස්‌කරණය කළ "අස්‌ගිරි තල්පත" රජුගේ මරණයට හේතුවක්‌ දී නැත.

සීතාවක රාජසිංහ කාලයේම ලියවුණු "අලකේශ්aaවර යුද්ධය" වංශකතාව රජුගේ මරණය වූ අයුරු කියා නැත. සීතාවක රජවාසලේදී රජු මියගිය අතර රජුගේ අවසාන කටයුතු මුණුබුරන් දෙදෙනා ඉටු කළ බව "අලකේශ්වර යුද්ධය" කියයි.

මහනුවර කල ලියවුණු "රාජාවලිය" වංශකතාව අනුව රජු යුද පැරදී පසු බසින විට පෙතන්ගොඩ රජ උයනේදී විෂ උණ කටුවක්‌ ඇනී ඇත. රජු සමඟ අමනාපව සිටි රාජසූරිය කුමරුගේ කීම පිට දොඩම්පේ ගණිතයා රජුගේ තුවාලයට හුනියම් කර විෂ බැන්දවිය. (සීතාවක රාජසිංහ රජුගේ තුවාලයට හූනියම් කර වූ රාජසුරිය කුමරු රාජසිංහ රජුගේම මුණුබුරාය.) සීතාවක රාජසිංහ රජුගේ දුව වූ මැණික්‌ බිසෝ බණ්‌ඩාර සොළී කුමරෙකු හා විවාහ වූ පසු ලද වැඩිමල් පුතා රාජසූරියයි. ඇගේ දෙවැනි පුතා ජයසූරියයි. සීතාවක රාජසිංහ රජු උඩරට යටත් කළ පසු ඔහු වෙනුවෙන් 1585-1591 දක්‌වා උඩරට පාලනය කළේ මේ රාජසූරිය කුමරුය. එම පාලකයා ලෙස සිටියදී "අස්‌ගිරි තල්පත" රාජසූරිය කුමරු හඳුන්වන්නේ නිකපිටියේ බණ්‌ඩාර නමිනි. පෘතුගීසීන් කොනප්පු බණ්‌ඩාර සමඟ උඩරටට එනවිට නිකපිටියේ බණ්‌ඩාර සීතාවකට පලා ගියේය. සීතාවක රාජසිංහ රජු මියගිය පසු රාජසූරිය කුමරු (ක්‍රි. ව. 1592 - 1593) කෙටි කලක්‌ සීතාවක රජ කළේය. මෙම රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයාගේ දූ සමඟ රහස්‌ ප්‍රේම සම්බන්ධතාවයක්‌ විය. මේ තරුණියගේ නම මල්වතීය. මල්වතී දියනාමින් සිටිනු දුටු රාජසිංහ රජු ඇගේ රූමත් බව දැක බලෙන්a පැහැර ගෙන ගොස්‌ තම අගබිසව කර ගත්තේය. මල්වතී රාජසිංහ රජුට වඩා වයසින් ඉතා ළාබාල විය. තමා පෙම් කළ මල්වතී තම සීයා වූ රාජසිංහ රජු පැහැර ගෙන යැම ගැන කිපුණු රාජසූරිය කුමරු මල්වතීගේ පියා වූ දොඩම්පේ ගණිතයා ලවා රජට සූනියම් කළේය.)

සෙංකඩගල කල ලියවුණු "මන්දාරම්පුර පුවත" ඉතිහාස කාව්‍ය ග්‍රන්ථය අනුව යුද පැරදී සිත්තැවුලෙන් පෙතන්ගොඩ උයන හරහා රජු අසු පිටින් යද්දී මඩ වගුරක්‌ මඟ හැරීමට රජු අසු මෙහෙයවද්දී අසු පිටින් බිම වැටී මඩ වගු=රකට වැටී එහි තිබූ උණ කටුවක්‌ මිරිවැඩි සඟල ඉරා ගෙන රජුගේ පාදයේ ඇනුණු බව "මන්දාරම්පුර" පුවත කියයි. ඒ අනුව මඩ වගු=රට ඇද වැටුණු රජුගේ පාදය හිල් කරගෙන එහි වූ උණ කටුවක්‌ ඇනුණේය.

පෘතුගිසී යුගයේ ලංකාව ගැන ග්‍රන්ථ ලියූ පෘතුගිසී ජාතික රොබේරෝ හා ක්‌වේරෝස්‌ පියතුමා කියනුයේ කීරක්‌ ඇනී රජු මළ අතර, තුවාලයට විෂ කැවීමක්‌ නැත්නම් හූනියම් කළ බවක්‌ කියන බවයි. රජු මිය යන විට වයස අවුරුදු 59 බව ක්‌වේරෝස්‌ පියතුමා කියයි.

රිසිමන් අමරසිංහ පළ කළ "ඓතිහාසික සීතාවක" ග්‍රන්ථයේ මීට පෙර පළ නොවූ පැරැණි සිංහල පුස්‌කොළ ලේඛන තුනක්‌ ඇතුළත්ය. 1599 ලියවුණ "සීතාවක රාජ්‍ය කාලය" පුස්‌කොළ පොත - මානියම්ගම පුස්‌කොළ ලිපිය - ශෛලේන්ද්‍රසිංහ පුස්‌කොළ ලිපිය ඒ ලිපි තුනයි. 1599 සිටිනාමළුවේ ධම්මපාල හිමි ලියූ "සීතාවක රාජ්‍ය කාලය" පුස්‌කොළ පොත අනුව රාජසිංහ රජු යුද පැරදී පලා යන විට රාජසූරිය කුමරු තම සගයන් ලවා රජුගේ පාදවලට පහර දී තුවාල සිදු කොට ඇත. දොඩම්පේ ගණිතයා හූනියම් කළේ පාදවලට පහරදීමෙන් සිදු වූ ඒ තුවාලවලටයි.

මානියම්ගම පුස්‌කොළ ලිපිය අනුව රජු යුද පැරදී පලා යන විට රාජසූරිය කුමරුගේ ගැත්තන් රජුගේ දකුණු පාදයේ තෙල්වල කොටසට පහර දී තුවාල කළ අතර, දොඩම්පේ ගණිතයා විෂ බැන්දේ එම තුවාලවලටයි. රාජසිංහ රජු හා රාජසූරිය කුමරු අතර ආරවුලට මුල් වූ මල්වතී කුමරිය රාජසිංහ රජුට පෙර 1578 මළ බව මේ පුස්‌කොළ ලිපියේ කියවෙයි. රජු ඇය සිහිවීමට පත්තිනි දේවාලයක්‌ ගොඩනංවා ඇත.

"ශෛලේන්ද්‍රසිංහ" පුස්‌කොළ ලිපිය වැදගත් වනුයේ රාජසිංහ රජු මරණයට පත් කිරීමට හවුල් වූ ක්‍රිස්‌තු භක්‌තික පේදුරුතුමා කළ වරද පාපොච්චාරණය කරන බැවිනි. නොයෙක්‌ විෂ වර්ග එකතු කොට තල තෙලෙන් කකාරවා තුවාලයට බඳින ලදුව බෙහෙත්වල සැරට යාමයෙන් යාමයට (යාමය යනු - සිංහල පැය දහයකි. දවසට සිංහල පැය හැටකි.) රජගේ සිරුරේ සිදු වූ වෙනස්‌කම් පේදුරු විස්‌තර කරයි. දොළොස්‌ වැනි යාමේදී ශරීරය පුරා විෂ පැතිර ගිය අතර, රජුගේ හම ගැල වී ගියේය. උණ කටුව ඇනී විෂ බැද යැම විසි දෙකක්‌ හෙවත් සිංහල පැය 220 පසු (උණ කටුව ඇති දින හතරකට පසු) පෙතන්ගොඩ උයනේදී රජු මළ බව ශෛලේන්ද්‍රසිංහ පුස්‌කොළ ලිපිය සඳහන් කරයි.

"ශෛලේන්ද්‍රසිංහ" පුස්‌කොළ ලිපියේ දැක්‌වෙන රජුගේ රෝග ලක්‌ෂණ වෛද්‍ය විද්‍යාත්මකව විවරණය කළ වෛද්‍ය කරුණාතිලක ඒවා වෛද්‍ය විද්‍යාවේ මූලධර්මවලට එකඟ බව පෙන්වා දෙයි. උග්‍ර විෂ ශරීර ගත වී හම ගැල වී විෂ පැතිර ගොස්‌ රජු මිය ගිය බව මින් පෙනී යයි. රජු මිය ගියේ පෙතන්ගොඩ උයනේ සිට රෝගී වූ රජු අඟුලකින් රජමැඳුරට ගෙන ආ පසු බව සමහර මූලාශ්‍රවල කියයි. ශෛලේන්ද්‍රසිංහ ලිපිය අනුව රජු මිය ගියේ රජමැඳුරේදීම බව සනාථ වෙයි.

ඕලන්ද ජාතික බලදියෙස්‌ගේ "ලංකා විස්‌තරය" අනුව බලන යුද්ධයෙන් පැරදී සිත්තැවුලෙන් එන රජු විෂ කටුවක්‌ රජුම ඇන ගෙන රජ මැඳුරට පැමිණ ප්‍රතිකාර ප්‍රතික්‌ෂේප කොට එම විෂ උග්‍ර වී මියගිය බව කියවෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ එස්‌. කේ. ජයවර්ධන මහතා විසින් දිවයින පුවත්පතට සැපයූ ලිපියක් ආශ්‍රයෙනි.