සොරබොර  වූ හරබර වැව

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

ඒ දුටුගැමුණු රජු විසින් දමිළයන් පලවාහැරීම සඳහා යුද ව්‍යාපාරය ආරම්භ කොට පළමුවෙන්ම මහියංගනය භාර එළාර රජුගේ සෙන්පතියා වූ ඡත්ත සෙනෙවියා පරාජය කොට මහියංගන බලකොටුව බිඳහෙළා එහි තිබූ ඡත්ත සෙනෙවියාගේ මාලිගයෙහි සිටි අවධියයි. දමිළයන් විසින් විනාශ කොට තිබූ "පඨමක චේතිය" ලෙස නම් ලද "මහියංගන චෛත්‍යය"අසූ රියන් කොට බැඳවීමට දුටුගැමුණු රජතුමා ආරම්භ කොට තිබුණි. (බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්‌ෂ ගෝත්‍රිකයන් දමනය කළ බව සාහිත්‍යයේ පැණෙනා ස්‌ථානයේ ඉදිකොට ඇති මෙම චෛත්‍යය තුළ බුදුන් වහන්සේගේ කේශ ධාතු හා ග්‍රී ධාතුව නිධන් කර ඇති බව විශ්වාස කෙරේ.)

බුලතා වනාහි උඩුදුම්බර කිරිපට්‌ටිය නම් ගමේ උපන් හැඩිදැඩි පුරුෂයෙකි. රජුට බුලත් සැපයීමට මේ පුරුෂයා පත් කරගන්නා ලදී. මේ නිසා ඔහු බුලතා නමින් හැඳින්විණි. ඔහුට පැවරුණු රාජකාරිය වූයේ උදෑසන සිට රාත්‍රී නින්දට යනතුරු වරින්වර දිනකට පස්‌ වතාවක්‌ බුලත් විට සාදා රජුට පිළිගැන්වීමය. ඒ අතරතුර ඔහුට පැවරුණු රාජකාරියක්‌ නොමැති බැවින් ඒ අවට සංචාරය කිරීමට පුරුදුවී සිටියේය. දිනක්‌ මහියංගනයට උතුරු පෙදෙසේ සංචාරය කරන මොහුට චෛත්‍ය භූමියට ගව්වක්‌ පමණ උතුරු දෙසින් ගල් කඳු දෙකක්‌ මැදින් ගලා බසින විශාල දොළ පහරක්‌ හමු විය. දොළට බැස ගලා යන දිය පහරින් සිසිල් දිය දෝතක්‌ ගත් බුලතා එය පානය කළේ අමෘතය පරිද්දෙනි.


මෙතැන හරස්‌ කර වැවක්‌ බැන්දොත් සිය දහස්‌ ජනතාවකට පිපාසය නිවා ගැනීමට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකර්මාන්තයද දියුණු කළ හැකි බව බුලතා කල්පනා කළේය. මෙම අලුත් සිතුවිල්ලෙන් නව ජීවයක්‌ ලත් බුලතා මෙම කාර්යය හෙට සිටම ආරම්භ කිරීමට ඉටා ගත්තේය.
ඉන්පසු ඔහු දිනපතාම රජුට බුලත් විට පිළිගන්වීම සිදු කර ඊළඟ වාරය එළඹෙන තෙක්‌ ඒ අතර කාලය තුළ වැව් බැම්ම ඉදිකිරීමේ කටයුතු සිදු කරන්නට විය. අවට ප්‍රදේශයෙන් විශාල ගල් කුට්‌ටි පෙරලාගෙන එමින් තම කූඩයෙන් පස්‌ ගෙනවිත් දමා පාගා තලමින් දියපාර දෙපස ඇති ස්‌වභාවික ගල් කුළු දෙක යාකරමින් වැව් බැම්ම ඉදි කරන්නට විය. වැවට අවශ්‍ය සොරොව් දෙක දෙපස ගල් කුළු දෙක හාරා ඒ තුළින් නිර්මාණය කිරීමට බුලතාට දින ගණනාවක්‌ම ගත විය. අවසානයේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මකවන ලෙස සොරොව් දෙක නිර්මාණය කිරීමට හැකිවීම ගැන බුලතාට ඇතිවූයේ මහත් සොම්නසකි. ගලේ කට්‌ට කපා එයට ලෑලි බස්‌වා වෙනස්‌ ජල මට්‌ටම් වලදී ජලය නිකුත් කිරීමට හැකි වනසේ සොරොව්ව සකස්‌ කොට අවසානයේ දකුණු පස සොරොව්ව අසලින් වැවේ අමතර ජලය පිටකිරීමට අවශ්‍ය "පිටවාන" ක්‌ ද ගල් වලින්ම බැඳ අවසන් කිරීමෙන් පසු වැවේ කටයුතු අවසන් විය. ඉන්පසුව ටිකෙන් ටික වැවේ ජලය පිරී අවසන් වූ පසු වැව නිල් කැටයක්‌ සේ බබලන්නට විය
.

මහියංගන දාගැබ ඉදිකිරීමේ කටයුතු හා බුලතාගේ වැව ඉදිකිරීමේ කටයුතුද ආසන්න දිනවලම අවසන් විය. චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය අවසන් වූ පසු දුටුගැමුණු රජතුමා විසින් මහා උත්සවයක්‌ පවත්වා රජු විසින්ම කොත් පැළඳවීම ද සිදු කරන ලදී. ඉන්පසු බුලතා රජු ළඟට ගොස්‌ "දේවයන් වහන්ස. මා විසින් ඔබ වහන්සේට නොපිරිහෙළා සේවය කරන අතරතුර මගේ කාලය ගෙවා දැමීමට ඉදිකළ කුඩා වැව් පොඩිත්තක්‌ තිබේ. ගැත්තාට අනුකම්පා කොට එය බැලීමට වඩිනු මැනවි" යි ආරාධනා කළේය. මොහුගේ ඉල්ලීම සලකා බලා කුඩා දිය පොකුණක්‌ හෝ වළක්‌ දැකීමේ බලාපොරොත්තුවෙන් පිරිවර සමඟ බුලතා පෙන්වූ ස්‌ථානයට ගිය රජතුමා දුටුවේ නිල් කැටයක්‌ මෙන් බබලන සාගරයක්‌ බඳු වැවකි. ඒ දැකීමෙන් විස්‌මයටත් සතුටටත් පත් වූ රජතුමා "තෝ නම් බොල හැබෑම යෝධයෙක්‌" යි පවසා දරුව, තොපගේ හරබර වාරි කර්මාන්තය දැක මම මහත් සතුටට පත් වුණෙමි. තොපගේ වාරි කර්මාන්තය රට ජාතියට හා මතු පරම්පරාවට පිහිටක්‌ම වන්නේය.'' යි කීය.

මෙයින් පසු බුලතා "බුලතා යෝධයා" ලෙස හැඳින්වූයේය. මහත් සතුටට පත්ව සිටි රජතුමා වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ගම් ප්‍රදේශය පෙන්වා "තෙල පෙනෙන ගං තොට, වැව දියන් මට" කියා බුලතාට ගම් වරයක්‌ තෑගි කර වැවේ භාරකාරත්වය ද බුලතාටම භාර කළේය. රජු විසින් හරබර වාරි කර්මාන්තය ලෙස හැඳින්වූ බැවින් මෙය හරබර වැව ලෙස හැඳින්වීමට පටන් ගත් අතර පසුව සොරබොර වැව ලෙසට නම වෙනස්‌ වී ඇති බව පැවසේ. ඉහත ජනකතාව තහවුරු කරවන මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරව පවතින ජනකවියක්‌ පහත දැක්‌වේ.
.Island Lanka

මෙම වැවෙහි ඇති විශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ ලංකාවේ ඇති බොහෝ පුරාණ වැව් වල දැකිය හැකි අංගයක්‌ වන "බිසෝ කොටුව" මෙහි දක්‌නට නොමැති වීමයි. බිසෝ කොටුවේ මූලික කාර්යය වන්නේ සොරොව්ව අසල ජල පීඩනය පාලනය කිරීමයි. සාමාන්‍යයෙන් වැවක ජලය නිකුත් කිරීම සිදු කරන්නේ වැවේ පතුලට ආසන්නයේ ඇති බටයකින් නිසා ඒ අසල විශාල ජල පීඩනයක්‌ ඇතිවේ. නමුත් මෙහිදී තනි ගලෙහි හෑරූ විවරයකින් ඉහළින් (වැවේ ජල මට්‌ටමෙන්) ජලය නිකුත් කරන ආකාරයට නිර්මිත සොරොව්වක්‌ පවතින බැවින් ඒ අසල විශාල පීඩනයක්‌ ඇති නොවේ. එබැවින් බිසෝ කොටුවක අවශ්‍යතාවය අවම වන නිසා මෙහිදී එවැන්නක්‌ සිදු කළා යයි ද සිතිය හැක.

මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මහවැලි කලාපවලට ජලය සැපයීම සඳහා ඉදිකළ මිණිපේ අන්තර් නිම්න ඇළ මාර්ගය හෙවත් මිණිපේ දකුණු ඉවුරු ඇළ (මේ ඇළ මාර්ගය මිණිපේ වේල්ල අසලින් ආරම්භ වී උල්හිටිය ජලාශය දක්‌වා පවතී) ඉදිකිරීමෙන් පසු සොරබොර වැවේ ප්‍රධානම ජල මූලාශ්‍රය වන "දියබාන ඔය" අවහිර වීම නිසා එහි ජලය සොරබොර වැවට එකතු වීම නැවතුණි. (මිණිපේ අන්තර් නිම්න ඇළ හා දියබාන ඔය එක්‌කොට "සම මට්‌ටම් ජලාශය" ක්‌ නිර්මාණය කෙරිණි) මේ නිසා මිණිපේ අන්තර් නිම්න ඇළෙහි දියබාන ඔය ජලාශයට පෙර කොටසේ ඇති පිටවුමකින් සොරබොර වැවට ජලය සපයනු ලැබේ. මේ නිසා අඩුවකින් තොරව වසර පුරා සොරබොර වැවේ ජලය පැවතීම සිදුවේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ප්‍රධානම ව්‍යාපෘතියක්‌ වන "වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය" මගින් දැනට පිළිසකර කළයුතු මට්‌ටමේ පවතින ජලාශයක්‌ ලෙස සොරබොර වැව හඳුනා ගෙන තිබේ. මෙහි ආරක්‌ෂාවට හා කල්පැවැත්මට අදාළ අඩුපාඩු හඳුනාගෙන මෙම පවතින ඓතිහාසික වටිනාකමද රැකගනිමින් රුපියල් ලක්‌ෂ 270 ක පමණ වියදමෙන් මෙය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර අනාගත පරපුරට උරුම කර දීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතී.Sadamali liyanage

මනරම් පරිසරයක පිහිටි සොරබොර වැව නැරඹීමට දිනපතාම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණීම සිදුවේ. මෙම පැමිණෙන සංචාරකයන් බොහොමයක්‌ දෙනා පැමිණෙන මාර්ගයේ මුලින්ම හමුවන වම් ඉවුරු සොරොව්ව පමණක්‌ නරඹා පිටව යන්නේ දකුණු ඉවුරේ පිහිටි සොරොව්ව හා පිටවාන පිළිබඳ දැනුවත්කමක්‌ නොමැති බැවිනි. මෙම දකුණු ඉවුරු සොරොව්ව අසලට බැස සමීපව නරඹා බුලතා විසින් මෙම සොරොව්ව ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙම ගලෙහි නිර්මිත සොරොව්ව ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම ජලාශයක දැකිය නොහැකි ඉහළ සංචාරක ආකර්ෂණයක්‌ දිනාගන්නා අංගයකි. මෙවැනි සුන්දර හා ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්‌ථාන පිළිබඳ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් දැනුවත් කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක්‌ සකස්‌ කළහොත් මොනතරම් අපූරුද?

ඉංජිනේරු තිළිණ ගුරුසිංහ විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් අනුසාරයෙනි. ඡායාරෑප හා වීඩියෝ හිමිකම Islandlanka සතුය.